අපේ ශ්‍රී ලංකා’ කරන්න යන්නේ මොකක්ද යන්න වචන වලින් කියනවාට වඩා අපේ අපේක්ෂාව එය වැඩ ඇතුලේ පෙන්වීමය.
|
මේ අපේ ශ්‍රී ලංකාව ද?
නිදහස ලබා දශක දෙකක් ගෙවීගිය මොහොතේ මෙරට එකම ලේ විලක්ව ගියේය. ඒ 71 ජවිපෙ අවිගත් නැගිටීම සහ ඒ මර්දනය සඳහා රජය කටයුතු කිරීම තුළය. ඒ ශාපලත් සිදුවීමෙන් දශකයක් ඉක්ම යන මොහොතේ අපකීර්තිමත් කළු ජූලිය සිදුවිය. ඒ අවසන් වූයේ මිනිස් ජීවිත සහ දේපල අහිමි කරමින් පමණක් නොව ජාතික සාමයද බරපතල අවධානමකට පත් කරමින්ය. අපේ මිනිස්සුන්ට හැදෙනවා නම් හැදෙන්න ඒ අවස්ථා දෙකත් බොහෝ පාඩම් ඉගැන්වීය. නමුත් අපේ අය හැදුණේ නැත. 88 -89 නැවතත් භීෂණයකින් දකුණ වෙලාගත්තේ ඒ අනුවය. දකුණ පමණක් නොව ඒ සමයේ LTTE සංවිධානයේ ක්‍රියාකාරකම් මත උතුරද ගිනි ගත්තේය. වසර දෙකක ඇවෑමෙන් හැට දහසක් පමණ මිනිස් ජීවිත නැතිකරගෙන, අති විශාල දේපල හානියකින් පසුව දකුණේ ගින්න නවාගන්නට හැකි විය. එහෙත් උතුරේ ගින්න නිවුණේ නැත. එය වඩවඩාත් වර්ධනයවී රටම ඇවුළු සිවිල් යුද්ධයක් බවට පත්විය. යන්තමින් ඒ ගින්න නිවා ගත්තේ වසර 30ක් ගතවූ පසුය. 71 සිදුවීමේ සිට තිස් වසරක සිවිල් යුද්ධය දක්වා වූ අවස්ථා විමසීමේදී පැහැදිළි වන ප්‍රධාන කරුණක් ඇත. ඒ 71 ට සාපේක්ෂව මනුෂ්‍ය ඝාතනයේ, දේපළ හානියේ සහ මානව සම්බන්ධතා පරිහානියේ ප්‍රමාණයේ සහ ගුණයේ පැහැදිළි වර්ධනයක් සිදුව ඇති බවය. සමාජය වඩවඩාත් ආගමික ලෙසත් ජාතිකත්ව පදනමිනුත් ආන්තීකරණය වී ඇති බවය. යුද්ධය නිමාවට පත්ව දශකයකට ආසන්න කාලයක් ගෙවීයන මොහොතේ දැන් අත්දකින්න ඇත්තේ කුමක්ද? සාමය සංහිඳියාව වෙනුවෙන් වැඩියෙන් හිතන වැඩියෙන් වැඩ කරන මිනිස්සු හිඟ, අනෙක් ජාතිකත්වය තම ජාතිකත්වයේ සැප සොරාගෙන ඇති බව සිතන සහ ඒ වෙනුවෙන් අනෙකා නසන්න ගොඩක් හිතන ගොඩක් වැඩ කරන මිනිස්සු වැඩි සමාජයක්ය. ආගමේ සහ ජාතියේ නාමයෙන් රුධිරය වගුරන්න යෝජනා කරන ආගමික සහ දේශපාලන නඩ වැහි වැස තිබෙන පසුබිමකය. එපමණක් නොව හරක් මරනවාට විරුද්ධව ගිනි තියාගෙන මැරෙන ගානට මනුෂ්‍යත්වයේ අගය හඳුනානොගත් ආගමික නායකයන්ය. යුද්ධය පෙන්වා රටම සුද්ද කිරීමට සූදානම් වූ, තමන් රටේ භාරකරුවා වන බව කියා දරුණු ඒකාධිපතිත්වයක් හරහා මැරෙන තුරා බලයේ ඉන්නට දන්නා හැම කස්තිරමක්ම ඇල්ලු රාජපක්ෂ පාලනය ගෙදර යවන්නට ගත් තීන්දුවද අද මිනිසුන්ට මතක නැත. දූෂණය වෙනුවෙන් භීෂණය වපුරා, පුරවැසියන් වෙනුවට බලු ගැත්තන් තැනු ඒ යුගය ප්‍රසිද්ධියේ නැවත ඉල්ලන්න තරම් ඇතැම් ඔළුගෙඩි විකෘතිව ගොස් ඇත. ඒ අන් කිසිවක් නිසා නොව මේ ආණ්ඩුව සමාජ යුක්තිය ඉටුකිරීමට සමත් නොවූ නිසාය. මුල්‍ය අගාධයකට රට වැටීමේ අවධානමින් රට මුදවා ගන්නට ආණ්ඩුව වැඩි බරක් තැබුවත් සමාජ යුක්තිය ඉටුකිරීමට අදාළව ආණ්ඩුවේ වැඩ කොටස "නිල්" ය. එනිසා ආල ප්‍රශ්න වලට වඩා මිනිසුන්ව පිස්සන් කරන මුදල් ප්‍රශ්නයෙන් මිනිස්සු ගලවාගත්තාට වඩා මිනිස්සු බලා සිටින්නේ ඒ නිල් වූ කොටස දෙසය. කොහොමත් ඒ මනුස්ස ස්වාභාවයය. එහෙත් එහෙමයි කියා හිත හදාගන්නට ඉඩක් නැත. ඒ දැන් වන විට සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රශ්න විසදන්න මිනිස්සු හරි සිම්පල් ප්ලෑන් ගැන විශ්වාස කරන්නට ගෙන ඇති නිසාය. අමරපුර නිකායේ අනු නායක වෙඬරුවේ උපාලි හිමි ගෝඨාභයට හිට්ලර් කෙනෙක් වෙන්න කියා සිදුකළ අනුශාසනාවත්, LTTE ය හිටියා නම් ළමා ලිංගික අපචාර පාලනය වන බව කියන්නට විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රකාශයත් ඊට ඇති ප්‍රසිද්ධ නිදර්ශනය. මේ වන විටත් පැරණි සිවිල් සංවිධාන මෙන්ම ඒවායේ ක්‍රියාකාරීන් විශ්‍රාම ගෙන ඇත. තවත් අය කල් ඉකුත්ව ගිහින්ය. ඇතැමුන් සිවිල් සංවිධාන මෙහෙයවන අතර රජයේ තනතුරුද දරන්න ගෙන නරුම විකාරකාරයන් බවට පත්ව ඇත. ‘අපේ ශ්‍රී ලංකා’ එළිබසින්නේ එවැනි පසුබිමකය. ‘අපේ ශ්‍රී ලංකා’ කරන්න යන්නේ මොකක්ද යන්න වචන වලින් කියනවාට වඩා අපේ අපේක්ෂාව එය වැඩ ඇතුලේ පෙන්වීමය. ස්තුතියි! මීට, විශ්වාසී, රුසිරු එගොඩගේ, විමුක්ති දුෂාන්ත ලේකම්, සභාපති, අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය. අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය. |